Tuesday, June 24, 2014

මල් හතයි

 By Saim Dursun.
 
 
ප්‍රංශෙට මල් හතයි
ඉතාලියට මල් හතයි
මුළු යුරෝපයට මැ මල් හතයි
ආසියාවට එක මලක්වත් නෑ...
 
ආසියා බිම් මායිමක ඉපිද
පැතුරූ දහම් සුවඳ
ගිනිගෙනද, සුවඳට ගිනි තියලද,
 
ආසියාවේ සිට
වංසෙ කබල් ගාන උදවිය හා
හණමිටි සිතුවිලි රැගෙනැ
හැරමිටියෙන් යන්න වෙයිද
 
ආසියාවේ පිපෙන දුහුළු මලට
යුරෝපෙන් දූවිලි ගෙනෙන උදවිය හා
වාසය කරන්නට ඔබ රිසි වන්නේද
 
මට හා ඔබට පුරුදු මේ දූවිල අතරින්
අතරමං නොවූ විප්ලවකරුවෙකු වූ ඔබ
ඒ දූවිලි අතරමැ මාවත් තනිකර
ප්‍රංශයේ මල් සොයමින්
යුරෝපෙ සිරි නරඹමින්
වතිකානු රාජ  සභාවේ
පැසසුම් ගී ගයන්නට - ඔබ ඇදෙනවාද ස්වාමිනී...
 

Wednesday, June 18, 2014

අපි තවම සාගරයක් මැද නොවමුද?

By Roger Schmidt

ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි අවධානයකට අපේ රට ලක් වෙලා තියෙන මෙවන් යුගයක නැතිනම් වකවානුවක සත්‍ය ලෙසම පේ ලබා ඇති අවධානය යුක්තිගරුක සමාජ වපසරියක සිට බැලීමට හැකිද යන්න ගැන දේශපාලනිකව, ආගමිකව සහ සමාජයීය ලෙස විමසීම නුවණට හුරුය. මෙවන් කාල පරාසයක නැතිනම් අවකාශයක අපි ගැනම, අපේ ක්‍රියා පටිපාටිය ගැන විමසුම් මනසින් බලන කල නිතැතින්ම සතුටු වීමට අපිට ඉඩක් ඇත්ද? දරුණු අපරාධ වලට අදත් දේශපාලනික ලෙස ඉඩක් නිම වෙන සමාජ වාතාරවණයක ජීවත් වෙන අපි, ආගමිකව මුසා බස් දොඩමින් කිසිම කෙනෙකුට නොතේරෙන ආගමික වත් පිළිවෙත්වලට පමණක් සීමා වුණු ජීවිත ගත කරන ශ්‍රී ලාංකීය පුරවැසියන් බවට පත් වී ඇතිවා නොවේද?

කායිකව බලන කල අපි දූපතක වාසය කරන සිවිල් ජනතාවකි. අපි කර තිබෙන අනුවණකම් දෙස හා අපගේ ක්‍රියාකලාපයන් ගැන විශ්ලේෂණයක් කරන කල් වැටහෙන එකම කරුණ නම් අපි ඇස් වහගෙන, කන්වලට අගුල් දමාගෙන ජීවත් වෙන සීමාසහිත ජන කොටසක් බවයි. මේ ක්‍රමවේදය අපි ජාතික වශයෙන් පටන් ගනු ලබන්නේ 1971 සිටයි. එදා ඉතාම සුළු පිරිසකටයි වරම් ලැබුණේ පිටරටක ගොස් නිසි අධ්‍යාපනයක් ලැබීමට. බොහෝ විට පිටස්තර ලෝකෙන් වෙන් වෙලා සිටි අපි අපේම ක්‍රමයකට, මෝඩ පිළිවෙලකට ජනතාවක් ලෙස අපේ සමාජය හා දේශපාලන ක්‍රම තුළ හිර වි සීමා වුණ බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. අද පවතින් මේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය, මුසාවාදී ආගමික පසුබිම හා අස්ථිර සමාජ වටපිටාව නිම කරන ලද්දේ පෘතුග්‍රීසීන්, ලංදේසීන් හෝ ඉංග්‍රීසීන් විසින් නොව  අප විසින් බව පිළිගත යුතු සත්‍යයකි. මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක යෙදීම අත්‍යවශ්‍ය කරුණකි.

වර්ෂ 1971 න් පසුව සිරිමාවෝ රජය තුළ අපි දකින්නේ ජනතාව තලා පෙලන සමාජ වටපිටාවකි. ජනතාවගේ ප්‍රජා අයිතිය සහමුලින්ම කප්පාදු කර දැමූ යුගයක් ආරම්භ වීමේ මූලික අඩිතාලම දැමෙන්නේ මේ යුගයේදී බව පැහැදිලි වේ. එම යුගයේ කඩයක දවස් දෙකක් බත් විකිණීමට බැරි තහංචි පැනවිණි. රෝහල්වල බෙහෙත් නැතිව, නිසි විවේචනයකට කිසිදා ඉඩක් නොදී, රැස්වීමක් පැවැත්වීමට අවකාශයක් නැතිව ජීවිත අයාලේ ගත කෙරුණු ඒ වටපිටාව නීතිය අනිසි ලෙස යොදා ගත් සමාජයකි. යම්ලෙසින් රජය විවේචනය කරනු ලැබුවහොත්අවුරුදු දහයක සිර දඬුවමක් සමඟ දේපළ රාජසන්තක කිරීමට තරම් දරුණු ප්‍රතිපත්ති දැරූ අසංවර දේශපාලනය වටිනා ජීවිත රැසක් වළපල්ලට යැවූ ඉතිහාසය කෙලෙස අමතක කළ හැකිද? නොසිතූ මොහොතවල හතරවෙනි තට්ටුවට පුද්ගලයින් කැඳවන් ගිය, බොහෝ දෙනා ජනෙල් කවුළුවෙන් එළියට ඇද දැමූ ජීවිතවලට වග කියන්නේ කවුරුන්ද? හතරවෙනි තට්ටුවේ තරප්පු පෙළ බැස ආවා නම් ඒ ඉතාම සුළු පිරිසක් විය. ඡන්දය මුවාවෙන්, දේශපාලනය මුවාවෙන් වැරදි මිනිසුන් පාර්ලිමේන්තු ගත වුණු ඒ සමාජ වපසරිය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන්ම අත්හිටවා දැමූ භීෂණකාරී පරිච්ඡේදයකි. 

මේ නොසන්සුන්කාරී තත්වයෙන් මිදීමට වෙහෙසුණු ජනතා විමුක්ති පෙරමුණ විමුක්තිය පෙරදැරි කරගෙන අවි අතට ගනු ලැබීය. සත්‍ය ලෙසම මුලින්ම අවි අතට ගත්තා නම් ඒ එල්ටීටීය නොව ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ දාර්ශනිකයින්, ජනමාධ්‍යෙව්දීන්, උගතුන්, දක්ෂ ගීත රචකයින්, සිනමාවේදීන් වැනි අහිංසක ජීවිත අමු අමුවේ ඝාතනය කරනු ලැබූ ජේවීපී ය තවත් ම්ලේච්ඡ යුගයක් ඇරඹීය. ඒ රෝහණ විජේවීර නමැති හීනමානයකින් ජීවත් වූ අනිසි නායකත්වය නිසාවෙනි. විජේවීරගේ හීනමානී ගති ලක්ෂණ පක්ෂය පුරාම ප්‍රචලිත වී, අදත් අයාලේ යන හරක් පට්ටියක් බවට පත් වී ඇත. මෙවන් අඳුරු කාලයක බලයට එන එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස හරහා තවත් භීෂණ යුග කිහිපයක් ගෙවීමට ඉඩකඩ සැකසිණි.

එල්ටීටීයට ඇඟිල්ල දිගු කර ත්‍රස්ත කණ්ඩායමක් ලෙස හංවඩු ගැසීමට මත්තෙන් විමසා බැලිය යුතු කරුණු රැසක් පවතී. සිංහල ජාතියක් ලෙස සියල්ල තුළ පෙරමුණ ගනිමින් අපිටම ඔබින අනුවණ දේශපාලන ක්‍රමවේද නිර්මාණ කළේ අපි විසින්ම නොවේද? යළිත් නගන සරල පැනය එයයි මෙවැනි අවස්ථාවක. පවුල් දේශපාලනයට අනිසි ලෙස අප විසින්ම ඉඩ දි අපේ ප්‍රජා අයිතිය අප විසින්ම කප්පාදු කරගෙන ඇති බව පැහැදිලි නොවන්නේද? අද මහින්ද චින්තනය මුවාවෙන් කරනු ලබන සියලු දේශපාලන නොහොබිනාකම් වලට ප්‍රථමයෙන් වගකිව යුත්තා කවුරුන්ද? අප සතු බුද්ධිය අනිසි ලෙසර යෙදවීමේ විපාක දැන් අපි විඳිමින් සිටින්නෙමු. උතුරු යුද්ධයෙන් අපේම සහෝදර සහෝදරියන් අවම වශයෙන් 80,000 වඩා මියැදුණු යුගය, 146,679 පමණ දෙනා අතුරුදහන් වුණු යුගය නිම කළේ කා විසින් ද? කාගේ අවශ්‍යතාවයකටද? මේ සියල්ල අපේ උවමනාවට, අපේ මෝඩ හා පටු දේශපාලන න්‍යායවල ප්‍රතිඵලයන් වේ. මීට වසර 50 කට පමණ පෙර අප අතර ගොඩ නැගී තිබුණු සහයෝගය අප විසින්ම අවසන් කළ යුතු යථාර්ථයකි. එදා උතුරු දමිල ජනයාගේ එකම ආයාචනය වුණේ වෙනල් බල ප්‍ර දේශයක් නොව, කැඩී බිඳී ගිය පාරවල් පිලිසකර කර ගන්නට යටිතල පහසුකම් ය. වගාවට අවැසි පොහොර ටිකය. තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ය. මෙවන් අහිංසක ඉල්ලීම් අතර නිරුවත් කර ඔවුන්ව දණ ගැස්වූ, අපේ පුහු සිංහල බොදුනු හා විවිධ ආගමික මුසා ගතිගුණවලින් ආණ්ඩුමට්ටු කිරීමේ ප්‍රතිඵලය වුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදී න්‍යායවල හිර වූ පිරිස් බිහිවීමයි.

එදා සංඝයාවහන්සේලා 600 ක් වෙසක් පෝ දින හිරගෙදර බඩගින්නේ සිද්ධි අද බොදුබල සේනාවලට අමතක වුණේ කෙලෙසද යන්න විසල් පැනයකි. ධර්ම රාජ්‍යයක් ගොඩනගන මුවාවෙන් පාර්ලිමේන්තුවට ගොස් සාසනයත්, රටත් වනසන පුද්ගලික න්‍යාය පත්‍ර අතැතිව වැඩ කෙරූ සිහල උරුමය සතු කර ගත් කිසිදු උරුමයක් නැති බව දන්නෝ දනිති. බොදු බල සේනාව මේ කරන අවිනීත, අසංවරශීලී ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධව කතා කිරීමට කිසිදු බුද්ධ පුත්‍රයෙක් ඉදිරිපත් නොවීමෙන් අපිට හැඟී යන්නේ සැබෑ බුදු දහම වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ චීවරධාරියෙක් නැතිය යන්න නොවේද? මෙය විසල් ලැජ්ජාවකට කරුණකි. 2009 දී රණවිරුවන් අතට පිරිත් නූල් බැඳ, පැන් ඉස මිනී මරන්නට සෙත් පැතූ චීවරධාරීන් සැබෑ සමාජ අරගල තුළ යුක්තිගරුකව හඬක් නොනගන්නේ මන්ද? මෙවන් අවිනිශ්චිත කාල පරාසයක සිවිල් ජනතාවක් ලෙස අපේ වගකීම තවත් කන්වලට අගුළු ලාගෙන, ඇස් වසාගෙන සිටිමුද? එදාට වඩා තාක්ෂණය දියුණු මෙරටේ අපි මේ සමාජ, ආගමික වටපිටාව වෙනස් කිරීමට යත්න දැරීම කාලයේ අවශ්‍යතාවයක් නොවේද?

අවාසනාවකට අපි පෙර ලෙසම දූපතක සිරවුනු මෝඩ ගතිවලින් මිදී නොමැති නිසා, අවට සිදු වෙන කිසිදු කරුණක් ගැන තර්කානුකූලව සිතා නොමැත. බුද්ධිමය පියවරවල් නිසි තැනදි අප ගත්තේ නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හෝ මීට පෙර පැවති දේශපාලනමය, ආගමික අනුවණකම් මෙරට තුළ කිසිදා නොදකින්නට ඉඩ තිබිණි.

දැනට පවතින මිලිටරිකරණය මුවාවෙන් නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක නියැලෙන රජය කරල මීළඟ යුද්ධයට වගකිව යුත්තෝ කවුරුන්ද? නැවත පදිංචි කිරීම ගැන විමසුමේදී එයටම ආවේණික ඉතිහාසයක් ඇත. එනම් 1920 හා 30 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනය විසින් කළ වැඩපිළිවෙල, ජේ.ආර්. ජයවර්ධන රෙජීමය සමයේදී හා දැනට සිදුවන පශ්චාත් යුධ සමය තුළ සිදුවන නැවත පදිංචි කිරීම් ය. මේ සංකල්පය වෙස්වලා එන තවත් යුද්ධයක් බව වටහාගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? අද තරුණ පරම්පරාව අනිසි ලෙස තාක්ෂණය තුළ, ෆේස්බුක් තුළ, දූපත් ගැති වී තමන්ට ආවේණික ජීවිත ප්‍රතිපදායන් නිම කරගෙන ඇති කාලයක, යථාර්ථවාදීව මේ සිදුවන විනාශයෙන් ගැළවීමට අධිටන් කරගන්නේ කවදාද යන්න විසල් පැනයකි. බුද්ධිමත් ජනතාවක් නම් අපි විමසිය යුතු තව සුවිශේෂී කරුණක් වන්නේ එල්ටීටීඊය, නොනැවතී අහිංසක ජනතාව නිරපරාදේ සමූලඝාතනය කළ දැනට බලයේ සිටින මහින්ද ආණ්ඩුව පැවසුවේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් බවයි. ඔහුගේ පාර්ලිමේන්තු සනුහරය, ආරක්ෂක වළලු මැද ඉතා සැපපහසු ලෙස නගරවල සැරිසැරීමට ජනතාව ඔවුන්ගේ මෝඩ ඡන්දය භාවිතා කරමින් තවත් බලයක් අත පැවරූ සත්‍යය අමතක වී ඇත්ද? මෙවැනි මෝඩ සම්ප්‍රදායන් ජනතාව පහ කරගන්නා දිනක් ඇත්ද, එදින මීට වඩා බුද්ධිමය තීරණවලට එළඹිමට ඉඩ ප්‍රස්තාව හොඳාකාරවම ඇති බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

කරුණු එසේ නම් අපිට සිදු වෙනවා බුද්ධිමය තීරණවලට අඩුම තරමින් මේ තියෙන අවකාශය තුළ හෝ නුවණක්කාරී තීරණවලට එළඹෙන්න. මෙරට සිටින දෙමළ, මුස්ලිම් හා හින්දු ජනතාව හා සිංහල ජනතාවට සහයෝගී ව්‍යාපාරයකට මාවත් කැපීම ඉතා සරල වූත්, අවශ්‍ය වූත් යථාර්ථයක්. ජනතාවගේ ඡන්දෙන් අනිසි ලෙස ජනතාව නොමග යවා කළ සියලු අකටයුතුකම්වලට හේතුව උගත්කමක් නැති, ජනතාවගේ අයිතීන් ගැන දැනුමක් නැති, ජනතාවට ආදරය නොකරන පටු න්‍යාය පත්‍රවල හිර වූ පිරිස් පාර්ලිමේන්තුව හරහා කළ අශෝභන ක්‍රියා නිසා බව මින් පැහැදිලි වේ. සාගරයක් මැද අපි තාමත් ජීවිතය ගත කළත් ලෝකයේ වෙනත් රටවල දියුණුව හොඳින් හඳුනන අපි, මීට වඩා මතවාදීව හා තර්කානුකූලව ඉදිරි කාලය ගැන සිතා දේශපාලනික වශයෙන්, සමාජයීය වශයෙන්, ආගමික වශයෙන් තීරණවලට එළඹිම යෝග්‍ය හා සාධාරණ බව මොනවට පැහැදිලි ද? වෙනත් රටවල දියුණුව ගැන විමසීමේදී තවමත් අපි පුහු සම්ප්‍රදායන් රකිමින් අපගේ ගෝත්‍රික ගතිගුණවල අනිසි ලෙස හිර වී සිටින නියාවක් දිස් වේ. ගෝත්‍රික ගතිගුණ ගැන කතාවේදී එහි ඇති සුබදායී දෑ තිබෙන බව පිළිගත යුත්තකි. දකුණු අප්‍රිකාවේ කළු සුදු භේදයේදී ඔවුන් අනුගමනය කළ උභන්තු ක්‍රමය ඊට කදිම නිදසුන් දෙයි.

නෙල්සන් මෙන්ඩෙලා හා ඩෙස්මඩ් ටුටු යන පෙරලිකාමි  චරිත දෙක තුළින් අපට ඉගෙන ගතහැකි පාඩම් විමසීම මෙහිදී වටීනේය.දේශපාලන නයකත්වයකින් මෙන්ඩලා පෙරටුගාමි වු කල ඩෙස්මන්ඩ් ටුටූ අධ්‍යාත්මිකව ජනතාව  ප්‍රතිපත්තිමය ගමනක මෙහෙයවු අන්දම මුලු ලොවටම වටිනා පාඩම්  රැසක් ගෙන දුනි.මෙන්ඩෙලා දේශපාලනය හරහා සිය අධිෂ්ඨාන ශක්තියෙන් ජනතාව නිදහස සඳහා සූදානම් කළ අතර ටුටූ බයිබලීය පදනම තුලින් එයට කදිම රුකුලක් දුනි.අප රටේ මෙවන් ගමනක යෙදුනු පුද්ගලයින් අප නොදුටු නිසා තවමත් සාමය හීනයක් පමණක් බවට පත්ව ඇත.වැඩි දෙනෙක් තම රට අත් හැර ගොස් ඇති අතර අපේ දේශය අපිටම එපා වී යන සලකුණු මොනවට පැහැදිලිද?.බුද්ධිමතුන් හා උගතුන් බොහො සේ සිටියමුත් පැහැදිලි දර්ශනයකින් රටේ සිදු වූ වාර්ගික හා ජාතිවාදි  අරගලවලදී නිසි මැදිහත්වීමක්, නායකත්වයක් සැපයීමට අපොහොසත් වීම දුකට මෙන්ම ලැජ්ජාවට ද කරුණකි.


පිළිගතයුතු තවත් කරුණක්නම්, අප තුළ ජනිත වී ඇති පුහු මාන්නය හා උඩඟුව, අර්ථශුන්‍ය සම්ප්‍රදායන් රකිමින් පොදු ජනයාව දැඩි පීඩාවට ලක් කරමින් අපිම කැපූ වලවල් වල අපේ ජනයාවම වැලලූ  මෝඩ ජනතාවක් ලෙස අපිව ලේබල් කරගැනීම යුතුය, සාධාරණ ය.සාගරයක් මැදට වී  අනුවණ ජනතාවක් ලෙස තවත් ක්‍රියා කල යුතුමද?මෙවනි පටු සීමා මායිම් වලින් මිදී පුළුල් දර්ශනයකින් ලොව දෙස හා අප රටේ ප්‍රශ්න දෙස බලන යුගයක අරුනලු දැකීමට දැන් කාලය එලඹ ඇත.

Monday, June 9, 2014

පටු සීමාවෙන් එහා බලනු

 
මා සේ උපන්
මා වැනි උතුම්
මා වැනි ලස්සන
ඔබ සියලු දෙනට,
අලුතෙන් මගක් පාදවා
රටට මැ, ලෝකෙට මැ
අඬබෙර ගසා - වීණා වයා
‘‘කොටි ජෝඩු යැයි නම් කළේ
මනසින් ද? හදවතින් ද?
 
නළලේ තිලක පොට්ටුවෙන්
දිදුළන මණිපුරි සාරිවලින්
ඔබ සරසා ලෝකෙට පෙන්නුවේ
මෙන්න ‘‘කොටි ජෝඩු” කියලද...?
 
රූප පෙට්ටියේ ඔබ සැම සිටියේ
සත්තකින් මැ සතුටින් ද,
නැතිනම් සැකයෙන් ද?
 
මේ කරන විගඩංවලට
‘‘කොටි ජෝඩු” යයි නම් කළ උදවියට
අවැසි වූයේ මංගල සීනු අසන්නට ද
ඔබ නිරුවත් කළ, වත පෙන්වන්නට ද...?

Monday, June 2, 2014

පිපී හිනැහෙන්න


නොසිතූ මොහොතක
නොසිතූ  අවකාශයක

ඔබ ළඟට විත් - දුන්නු හාදුව

මතකද පිපුනු - මගේ කුසුම


පාඩම් පොතේ දෑත්   රන්ඳාන

ඔබේ ළයට උණුසුම  ගෙන

දෙතොල් සිපගත් පළමු දින
මතකද පිපුනු - මගේ කුසුම

දැන් ඔය බලන්නේ

මා  නැවත  එන මඟද

යළිත් පෙර මෙන් සිප ගන්නද......


ඉවසුම් නැති ඒ දසුන් පෙළ
අදත් සිහිනැගෙයි

ඔබ තුරුලෙ  තව මොහොතක් ඉඳ

හදවතින් ලංවන්න

ඒත්  කොයින්ද   මට අවසර

ඔබේ සෙවනේ මට ඉන්න
සිතුන මුත් සිප ගන්න


කඳුලක් නොදී ඔබ යන්න
 
එනතුරු දිනෙක

මහදෙ  පිපෙන්න

දෙවියන් සිටිය මුත් -අසල එදින

ළංවෙලා සිප ගන්න .

Sunday, June 1, 2014

රෝස මලක් වෙනුවෙන්





මතකද තවම
අප නෙත් ළංවූ දින
මම ඔබේ වූ - ඔබ මගේ වූ දින

දෙව් විමන් කවුළු තුළින්
මා  එන මඟ  බැලූ ඔබ
හෙට යන්නේද  ඒ මැදුරට
දමා මා තනිකර - මගේ දෑත හැර

තුරුලට නාවත්
වෙන පෙම්වතියන් සේ
උණුසුම් සුසුම් මැද
නිදන්  විය මහද තුළ

රෝස මලකි ඔබ - තවමත් සුවඳ      දෙන
රෝස පෙති අරන් එනු මා  මියැදෙන  දින 

ළංව සිටි කාලේ
වෙන් නොවෙන්නට   ළංවී
දුරස් වන්නේද අද
ළං නොවෙන්නට වෙන්වී

එසේනම් ඔබ වෙනුවෙන්
දෛවය ලියූ ගීතය
මම ඉඩහරිමි
රිසිසේ ඔබට ගයන්නට
තනිවී දෙවියන් තුළ
මගේම දිළිඳු කුටියක..

රෝස මලකි ඔබ - තවමත් සුවඳ      දෙන
රෝස පෙති අරන් එනු මා  මියැදෙන  දින