Tuesday, August 2, 2016

සන්දනම් 

කෙටි දිනකදි 
ඔබ මුණ ගැසි 
ඔබෙ භූමිය මට හුරු විය 
ඔබ හා  බැදි 
ඔබෙ සුව විදි 
ඔබේ දෙනෙතින් මා සිහි විය 

දමිළ අකුරු 
අපට ම හුරු 
ලෙසින් ගෙතිනි දී ගරුසරු
අප සොහොයුරු 
හා සුමිතුරු 
මියැදි  ගියෙද නොයෙනා තුරු 

ඒ මාවතෙ 
ඔබ හාමතෙ 
කෙලෙස ගෙවුනෙ ගිනි රාත්‍රියෙ 
වෙඩි හඩ මැද 
ඔබ ඇදුනිද 
ලේ පැල්ලම් හා මිය ගියෙ 

මා  දුටු කල 
ඔබ අභියස 
ඔබේ ගිනිදැල් නිවුනෙ කෙලස 
මට රහසකි 
වැටහෙන්නැති 
නො නැවතීම සිහිගන්වති 

මතු දිනෙකදි 
එක පැතුමකි 
එක සේ එන යළිදු නො යෙන 
උතුරේ ඔබ 
දකුණේ මම 
හමුවූ දින සිහි ගන්වන 

වෙඩි උණ්ඩය 
දුන් ශබ්දය 
තව ඇසේද ගෙවෙන දවසෙ 
ඒ මතකය 
මට සිහිවිය 
අද කවියට නැගෙන සවසෙ 

යළි එන්නම් 
පවසන්නම් 
කෝවිල් බිමෙ සන්දනම් 
මල් ගන්නම් 
තෙල් ගන්නම් 
පූජාවක සිහිනගම් 

හිනැහෙන්නම් 
සැනසෙන්නම් 
ඔබ යනෙනා දෙස බලන් 
යළි එන්නම් 
ලග ඉන්නම් 
මතු හමුවන දින කියන් 

Thursday, July 28, 2016

https://youtu.be/7jvMFLImLWk
සරත් ඉද්දමල්ගොඩ පියනම සමග කළ සාකච්චාවකි 
කෙලස කියම්ද දෙවියන් ගැන 




ඇදෙයි වීදි වල උන් 
ගෝනි මලු උස්සා 
විටෙක දැනෙයි දැන් 
වැටේවිද පය ලිස්සා 
කුමක් කරම්ද, උන්ගේ දහදිය දැක 

විෂමතා ගොන්නක 
හිරවී සිටිනු දක්නා 
ඇසකුත් නැති හැඩයි 
ඒ ජිවිත රක්නා 
දෙවියන් ගැන කුමන බස්ද, 
නැත ය සුභ අස්නා

තෙල් පහන් මල් පිදෙයි 
බුදුන් දැක ගන්ටා 
පෝ දිනෙක බණ ඇසෙයි 
පිරිත් පැන් දෙන්ටා 
පොහොසතුන් දැන් සොයයි 
පින් ගහේ  සෙවනටා 
දරුවකුව කරගහන් 
ඇදෙයි විකුණන්ටා

අහසටම   මාළිගා 
තැනෙන හැම නගරේ 
සුවපහසු බව  දැනෙයි 
සිසිල දෙන කාමරේ 
පැල්පතට ගරහමින් 
නිතින උන් කොන් කෙරේ 
දෙවියනී ඔබ කොයි ද 
නො පෙනෙන මේ කතරේ 

තවත් නො හැකි ය 
ඔබ ගැන කියනට 
උන් මැරෙන හැම දවසක ම 
රත් වූ පොළොවත්  
දවයි  ඉමක් නැතිව 
දඩුවමක්  සේ ලුහුබදින 
ඉරණමක් ගසන කරලම් අභියස 
නො හැකිනම් කෙනෙකුට 
තවත් මේ ගිනි උහුලනට 
ඔබම එනු මැන 
මේ අහස්  ඉම පලාන 
මට නො හැකි දෑතට 
දැන් සවියක් වන්නට .

Tuesday, July 26, 2016

 07 එනු මැන දේව මාළිලිගවට ම - පූජාව මෙහි යැ 




ගලක් පිට ගලක් නැතිවූ 
ජෙරුසලෙම් දෙව් මැදුර දෙස 
බැලූ කෙනෙක් සිටිම්ද ?
සිටීනම්, ඇයි මේ 
පණත්  පිට පණත් 
අණක් පිට අණක් 
ඒ, යා වීමට ද    
වන්දනාවේ පිළිවෙතට
 
වන්දනාව නොදකින දෙවියන් හා 
සුගන්ද දුම් පූජා හා 
බිය දනවන මෙහෙයකි දේව 
දෙවියන් පවා බිය වී -ක්ලාන්ත වී සිටියි 
වෙන්නේ කුමක් යැයි සිතමින්
මුහුණු මැළි වී කිම 
අවමගුල් පිළිවෙතක් සේ 
කිම්ද කරණා, නො වැටහේ මට 

වන්දනාවකි-මාළිගාවකි  
හැගුම් කිසි නැති, දේව මෙහෙයකි 
භක්ති දනවති- එහෙත් එය නැති
රැලේ හසුවී , අපිත් ඔහෙ  යති 
අන්ධ වී ඇති - කිසිත් නො කියති 
මන්ද කාරණා ඇසූවෙක් නැති 
වන්දනාවකි - මාළිගාවකි 
පුදන්නත් නැති පිදෙන්නත් නැති 

අතරමන්        රැළක්
අතරමන් කල කලක් 
ගොඩ නොවන වළක්
ගොඩ නොවන වගක් 

නාසරතයේ ජේසුස් 
ජෙරුසලෙම් මාළිගාවේ 
ඔප්පු කළ කිනම් පූජාවක් ගැන, 
අසා ඇත්තේද........
සිදුවූ වග ඔහුගේ යාගය 
ජෙරුසලෙමෙනුත් පිට 
පසක් කරනෙමුද යළිත්, අන්ධ වූ මේ පිරිසට;
පව්කාර අයකැමියගේ  යැදුම 
දෙවියන්ට වැටහුනි නම් 
නූතන පරිසි හදවත් 
නො දන්නේද ඒ බයිබලීය පුවත 
නො දන්නා කමද- නො දන්නා සේ සිටිම්ද?

දුගියා ගේ ගමන් මළු 
දින දිනම බර වී 
උරපතු පහත්  වී ගෙවී 
උන් දැන් හෙම්බත්   වී 
දෙව් විමනේ පූජක තෙම 
නො දකීද ඒ දිළිදු කම 
ඔප්පුකරන කල, දුම් උතුම් පුජා 
දුගියා ඇදෙයි වීදිවල 
වැටෙනතෙක්  බරඋස්සා-පය ලිස්සා 
ගැහෙන සද පීඩිත දෙපා දුර්වලව 
උන් කෙසේ යම්ද 
මාළිගාවේ පුජාවට 
පූජක තෙම්ගේ-අණ පණත් රක්නට........

බැටළුවෝ හෙම්බත්ව වීදි වල 
පූජක දුම් පුජා සුරපුර වල 
අණ රකින්ට යනු කියයි 
දේව මාළිගයට 
සුගන්ද දුම් දකිනට 
අනපණත් රකින්ට 
ඒක පුත්ගල වන්දනාවට......!
පූජාව එහි ය  
පූජා නො වී පූජා ගැන කියන 
පූජා  ගැන දෙසන 
භක්ති දනවන යැදුම්, ශාන්ති කාර්ම සේ 
මුමුණයි, මතුරමින් තොල් 
දෙවියන්ට නො ඇසෙන්න 
ඇසුනොත් කෙළවරයි, ඒ දුම් පූජාව 

'පූජාව මෙහි ය-ඉරිදා මෙහෙය'
අණකි පැවරෙන 
සැවොම යන එන 
පහන් ගෙන මල්ද ගෙන  
යදින්නේ පොත් බලාන 
පිරිසකි වීදිවල 
හිස් දෑතේ කරගැට පිපෙන 
නැතිය පහනක් හෝ මලක් 
උන්ගේ දහඩියෙ විමුක්තියට 
තේ කහට උගරකි සුවය දෙන 
මහපාරේ බත්පතකි  කුස පුරවන 
යදින්නත් නැති මාලිගා නැති 
පූජා ද නැති වන්දනා නැති 

එහෙත් බලනු;
පැය විසිහතරේ දුවන සෙල්ලමක 
උන්  පුජා  වෙති 
කාසි සොය යති 
දුක් ගින්නක් නිවති 
දුක් කදුළු පිසති 
අස්වැසිල්ලක් වෙති 
අසල්වැසියෝ ද ඇති 
එහෙයින් උන් අතර 
ලෙවියෝ නැති-පූජකයොත් නැති 

මෙහෙව් වීදියක් 
නො වම්ද මාළිගයක් 
දෙවියන්ට අල්තාරයක් 
පිදෙන යාගයක්-පුදන  යාගයක් 
සුගන්ද දුම් නැත 
සේවයකි යස 
අසල්වැසියා වෙත-සමරියෙක් ඇත 
නව කල්වරියකි පීඩිතයගේ 
පිඩකයට එරෙහිව 
මාළිගා නැති පුදබිමක 
සේවක වන්දනාවකි 
දෙවියන් දකින්නේ 
අනෙකා  තුළින් ම  ය
අනෙකා  සමග ය
අල්තාරය අනෙකක් නොව 
විදියේ දුවිලි අතර 
දුගියාගේ දහදියෙන් තැනුනකි, වීරියෙන් තැනුවකි 

මාළිගාවෙන් පිට ය 
මාළිගාවෙන් තොර ය 
දූවිල්ලට සම ය 
දහඩියට රුචි ය 
එහෙයින් දෙවියනි.......!
මෙන්න නව කල්වාරිය 
ඔබේ යාගයට විකල්ප කුරුසිය 
දුම්ද නැති මල් ද නැති 
දිළිදු පැල්පත 
යළි උපදින්න සුදුසු ගවලෙන 
මෙය දමා යන්නේද ඔබත් 
මාළිගාවට, අවමගුල් පිළිවෙත් බදු 
වන්දනාවට,වන්දනාවක .

Friday, July 22, 2016

 නැවතුනු ප්‍රේම කතා කොයිබද ................? 




ප්‍රේම කතා නවතා 
බලමු අවට ඇස්  ඇර කිව්වද 
නැවතුනු ප්‍රේම කතාවක් නො මැත -ප්‍රිය මිතුර 
නැවතුනේ කොතනද, නවතා කලදේ කිම්ද 
දකිනූ රිසි වෙමි -එහෙයින් අදටත් 

දිළිදුන්ගේ කුසගින්න - දැවෙනා සතියක ම 
ඇස අග කදුලු බොදවී යනෙන  දින     කිම 
මා දුටු අළු දූවිලි  කලේ නම්           අරුම
කොයි දිසාවක නැවතුනේද අමුතු      ප්‍රේම 

නො තේරෙන බසකි 
නැතිබැරිකම් ගැන දොඩන 
අවට ඇස්  බලනට -යන්නේද සති ගණනක් 
පද ලියවෙන කල ගේය සේ සත්සර හා 
හඬකට හසුවී අපද අසනෙමු - එම ගී මුමුණා
එනමුත්, නැවතුනු ප්‍රේමය කිම....? 
පීඩිතයා දෙස බැලූ, දෙනෙත් කිම 

පීඩිතයා වෙර දරයි 
ජයගන්නට දිනෙක සිය නැතිබැරිකම් 
එය දුටුකල ගැයුවෙනම් දෙදෙනෙක් 
'ඔරුවක් වී - ඒ ජීවන මග හා යාවන්නට'
පැදගිය ඔරුවක්ද නැත 
ගැයූ දෙදෙනාද නැත 
නැවතුනු ප්‍රේමයක්ද නැත.........

දිළින්දාත්, පීඩිතයාත් එක සේ බැට කයි 
පිඩකයාගේ ප්‍රේම කතා 
ගේය පද හා සත්සර මුසුවුණු 
කෝමල ගී අභියස - තොල් සෙලවෙන  කල 
අර්ථ ශුන්‍ය සිහින දේශයක 
වර්තමානයත් සුව  නින්දක 
අනාගතය ගී පද වී, සත්සර  සොයන  කල

නැවතුනු ප්‍රේමයක්    නැත 
පැදගිය ඔරුවක් ද   නැත.

Tuesday, July 19, 2016

ඉතින් නුබලාට අවශ්‍ය සිද්ධි නම් ..................


පත්තු කෙරුවේද ඊළග වෙඩිමුරය 
තවත් කළු ජූලියකට 
අලු දූවිලි වන මිනිස් ඝාතන දකිනට 
වටින්නේද පුහු සාම්ප්‍රදායික නැටුමක් - නුබලාට 
තවත් ඇරබුමකට - ජූලියක් කළු  කරනට 

'තල්රුපපා සෙවන' 
තවමත් හෙණයක්ද සිහලුනේ තොප හට
හීනමානයේ අවි රැගෙන 
කෙරූ තුවක්කු සෙල්ලම
නො සෑහේද දැවෙන වෛරයේ ගිනි අභියස 

ඉතින් අවැසිද තව සිද්දි තොප හට  
ලියන්නට දකුණේ තීරුලිපිවල 
අවුලා ගිනි යළිත් -  වනසා යාල්පාන පුදබිම

'ගහපියව් කොටපියව් ,ඕකුන්ව'
බුදුදහමේ අලුත් පිළිවෙතද මෙය 
සිල්සමාදම් වී පෝ දින 
අංගුලිමාල වෙස් ගෙන කිම...........! 
රත්වෙන දකුණේ බුද්ධත්වය 
නිවන දකින්නට සැරසෙන්නේ -අවි අමෝරා ගෙන නම් 
කොටහන් පච්චයක් - අධිරාජ්‍යවාදී දකුණේ 
පපු කුහර පසාරු කර 
අවසිනම් තවත් සිද්දි තොප හට 

සත්ව ඝාතන හෙලා දකින 
සිහළ  බෞද්ධ කම 
මිනිස් කම නැසුවේ කිම කියනු මට 
උතුරේ වැලලූ දහස් හදවත් ගොඩ ගෙන 

කාපට් මාවතේ සැගවූ 
උතුරු ලේ සිත්තම් - සිහිගන්වයි අදටත් 
රණවිරු කෙළිකම්, රජකම් , ජඩකම් 
ඉතින් අවැසිද තවත් සිද්ධි තොප හට 
කොටන්නට- මරන්නට - දකින්නට 
ඇවිලුනු දමිළ කළු හම 
තනමින් ජයකෙළි ස්මාරක 
හසලක පිළිරුවටත් උඩින් 
අලිමංකඩ හෝටල් රාජ්‍යයේ 

දවසේ වෙහෙසී ඉපයූ සොච්චමින් 
හදාගත් ගේ පැලේ 
මේසපුටු හොරාගත් දකුණේ සෙල්ලම
රීප්ප අහිමිවූ  රාත්‍රිය 
කාට කියම්ද උන් දැන් 
උතුරේ හෝටල්කරණයේ 
මුල් ගල තැබු කල  -රණවිරු දෑතින් 

මෙන්න සිද්ධි තොප හට - ලියන්නට, කියන්නට 
කවන්නට කිරිබත් - ලුණුමිරිස් රස සමග 
තොපගේ දරුවන්ගේ - සිංහල සිතුවමකට 
පාට තවරයි උතුරේ මියැදෙන උන්ගේ 
අසෝබන රූපය 

පොරවහන් එහෙයින් 
චීවරයක් ශිව දෙවියන්ටත් 
ඝන්ටාර නාද මැද්දේ 
මල්පුජා සිල්පද සද්දේ 
ලියමින් සිද්ධි එකතුකර 
නටමින් 'උඩරට පහතරට'
අවසිසේ - රිසිසේ  
දමිළ හදවත් නො දන්න - තවත් එක් රාත්‍රියක.

-------------------------------------------------
* 2016 ජුලි මස, යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ සිංහල සිසුන් තම සම්ප්‍රදාය රකින පටු නියාවන් හේතු කරගෙන, දමිළ සිසුන් හා ගැටිනි. එයට දකුණේ බුද්ධි අංශ එකහෙලා ම සහය දී ඇති අතර, මෙම ගෙටුම ඉදිරියේදී 
තවත් සුවිසල් ගැටුමක පෙර ලකුණු දනවන්නකි.  දකුණේ වීරකම් උතුරේ කීයාපාන සමයක, මෙවන් කලහකාරී සිද්දි 
බලා සිටිනවාට වඩා, ඒවා වලක්වන ක්‍රමවේදයක්  ඇත්නම්, එය දමිළ ජනයාගේ ජීවන අයිතය තහවුරු කිරීම වන වග දනවන්නට මෙය ප්‍රයත්නයකි. තවත් උතුරේ වෙඩිහඩ ඇසෙන රාත්‍රියකට ඉඩ නො දී, සංහිදියාවේ පෙර ගමන් කරුවකු වන මෙන්, මම ඔබෙන් ඉල්ලමි-නිහතමානිව.

Monday, July 18, 2016


මගේ යාගය


එක් රාගයක් පමණි  ගැයෙන්නේ -මේ දැන් 
එක් රාවයක් පමණි ඇසෙන්නේ  - මේ දැන් 
එක් හීනයක් පමණි දකින්නේ     - මේ දැන් 
ඒ ඔබ ගැන මැ  පමණි 

දුක් ගායනා මුමුනන්නේ නම් මා 
තවත් මගේ කාන්තාරයේ 
ඔබට ඇසෙන මායිමක සිට 
ඔබ ආ යුතු නො වේද මා වෙත 

ඔබ එන්නෙ නම් මා  වෙත 
මේ සංසාර දූවිලි පහවනු ඇත-දිනෙක 
ඔබ සමග මගේ යාගයකි - පිදෙන 
ඔබ හා ගෙතූ ගීයකි - ගැයෙන
ඔබ හා යන ගමනකි -අල්තාරය වෙත 
ඔබ අභියස කුරිසියකි -ඇණ  ගැසෙන 

පහන් එළි නැති -මල් පිපී නැති 
මාවතකි ඇත්තේ -මා දකින 
මගෙ  කෙස්රෝදත් කියයි කුමරිය  
මගේ සිරුරේ දුවිලිවල තරම

එක් රාගයක් පමණි  ගැයෙන්නේ -මේ දැන් 
එක් රාවයක් පමණි ඇසෙන්නේ  - මේ දැන් 
එක් හීනයක් පමණි දකින්නේ     - මේ දැන් 
ඒ ඔබ ගැන මැ  පමණි 

Monday, July 14, 2014

සොඳුරු මිනිසෙකු විය ඔහු

( මේ ජූලි මස 07 වන දිනට ඒ සොඳුරු මිනිසා සමුගෙන වසර 27 කි.)



එච්. ආර් ජෝතිපාල ගැන කුමක් ලියන්නදැයි අමුතුවෙන් හිත හිත සිටීමට අවකාශයක් අනවශ්‍යය .මට කුඩා අවදියේ සිට ඔහුගේ  හඬ හුරුපුරුදු දෙයකි. වැඩි යමක් කියනවට වඩා  මා  ඔහු තුළ දුටු ගුණාංගයක් ගැන හුවා දැක්වීමට සතුටු වෙමි. ඔහු ගොඩනගා  ගත් සරල ජීවිත ක්‍රමවේදය අද ලෝකේ ජීවත්වෙන මිනිසුන්ට අභියෝගයක්  නොවේද? අප විසින් මුසාවාදිව ගොඩනගා ගත් ජිවිත ගෙවන ලෝකයක ජෝතිපාලගේ සරලත්වයේ ජිවන සිද්ධාන්තය වටිනේය, අගනේය.

මතුපිටින් ඔහු තුළ තිබුණු මිනිස් දුර්වල කම් අභියස ගැන කතිකාවේදී , විටෙක මෙලෙස  ඔහු ගැන ලිවිම ම  පැනයක් කරගන්නා උදවියට යමක් තේරුම් කරනු නියාවෙන් මෙලෙස ලිපිය පණගන්වමි.

ඔහු සරල වන්නේ ඔහු දුර්වල මිනිසියාවකට හිමිකම් කියූ නිසාවෙනි. දුර්වල කම සියල්ලන් තුළ තිබෙන එමෙන්ම තිබිය යුතු ගුණයකි. දෙවියන් දුර්වල මිනිසුන්ට ප්‍රේම කළ වග බයිබලය පවා නිදසුන් දෙනු ලබයි. දුර්වල කම් තුළ ජිවත් වීමම එක අතකට සතුටට කරුණකි . එහෙයින් දුර්වලයා තුළ අමුතු දේවත්වයක් රජකම් කරයි . නමුත් මිනිසා දුෂ්ට වන කල සංකීර්ණත්වය ගොඩ නැගෙයි. තමන් විසින්ම ගොඩනගා ගත් පුහු, අර්ථශුන්‍ය ජිවන ක්‍රමවේද අනුගමනය කරනු ලබයි. ලෝකයා අභියස බොරුව රජකරවයි . නිදසුනක් ලෙස බලන කල්හී ; අපේ රටේ බොහෝ විද්වතුන්, කලාකරුවන්, දේශපාලන නායකයින් , සිනමා  වේදීන්  ආදී බොහෝ දෙනා රුපවාහිනිය ඔස්සේ හෝ නැතිනම් ඕනෑම මාධ්‍යක් හරහා රසිකයින්ට  නැතිනම් ජනතාවට තම තමන් ගැන ඉදිරිපත් කරන මුසා බස්   වහර ගැන හිතන කල්හී, ජෝතිපාල සිනාමුසු මුහුණින්  එකසේ දක්වපු ජිවන දර්ශනය ඉතා වටිනා දසුන් පෙළකි . ඔහුගේ පරිච්චේදය ඔහු ලියන ලද්දේ මිනිස්  වර්ගයාට ගෝචර වන ලෙසිනි. කිසිදා ඔහු දුෂ්ටයකු නොවුණු අතර මගෙතොට හමුවන ඕනෑම  කෙනෙකු සමග කතාබහ කිරීමට තරම් නිහතමානි වූ තැනැත්තෙක් විය.

දුර්වල මිනිසා නිසි සරල ගතිගුණ තුළ සිය ජිවත් වන අතර, දුෂ්ට මිනිසා අනිසි සංකීර්ණ ගතිගුණවල ජිවත් වෙයි.

ජෝතිපාලයන්ගේ මුළු ජීවිතය පුරාවට   දිස් වුණු මනා -අගනා රශ්මි වළල්ල එලෙස විය. එහෙයින් මට, ඔහු කදිම මිනිසෙකි. සොදුරු මිනිසෙකි. දුෂ්ටයකු  වී අනුන්ව රවටා සංකීර්ණ වනවාට වඩා , දුර්වලයකු වී සරලව ජිවත් වීම නුවණට හුරු කරුණකි. දුර්වල කම තුළ වැරදි කිරීමට බිය විය යුතු නැත. මන්දයත් දෙවියන් දුර්වලයා  හා  සිටින බැවිනි.

Tuesday, July 8, 2014

ඔවූහු කියති මේ බුදුන්ගේ රාජ්‍යයි කියා


 
කවදා-කොතැනක
වැඩියෙද බුදුන්

රාජ්‍යයක් උරුම කරගෙන


ඇස ගැටෙන ගැටෙන තැන

නිවනට වල කපන

සුදු බුද්ධ ප්‍රතිමා

වැඩම කර ඇත යාල්පානටත්

පොරවමින් චීවරය ශිව දෙවියන්ටත්

නූතන අංගුලිමාලට
පණපෙවූ  රෙජීමය

අණසක පැතුරුවේද

මුස්ලිම් ඇඟිලි  කප්පාදුවට


ජීවිත අළුදූවිලි කළ

පාපතර බණ  දෙසූ ප්‍රබුද්ධ පුතුන්

පන්සිල් - දසයට කඩා

දසසිල්  - විස්සට කැඩූ

මස් වැදි හෝරාව

පසක් කරනුයේ

තල්රුප්පාවල සේ , පොල්රුප්පාවල ද

වෙඩිවරුසා මැද

කරටි කඩන්නද
?

සැහැසි බස් දොඩන

අමුතු සිද්ධාර්ථලා - හීනදකින රාජ්‍ය

සමවෙයිද  තමිල්නාඩුවේ
 
පයට පෑගෙන

යකඩ ඇනයටවත්


මුව      පුරා   බුද්ධං     සරණං

රට     පුරා    සංඝං      සරණං

හෙනහුරා මුස්ලිම්ට වදිනකන්

බෙලිකපයි    කර       රජකන් .

Tuesday, June 24, 2014

මල් හතයි

 By Saim Dursun.
 
 
ප්‍රංශෙට මල් හතයි
ඉතාලියට මල් හතයි
මුළු යුරෝපයට මැ මල් හතයි
ආසියාවට එක මලක්වත් නෑ...
 
ආසියා බිම් මායිමක ඉපිද
පැතුරූ දහම් සුවඳ
ගිනිගෙනද, සුවඳට ගිනි තියලද,
 
ආසියාවේ සිට
වංසෙ කබල් ගාන උදවිය හා
හණමිටි සිතුවිලි රැගෙනැ
හැරමිටියෙන් යන්න වෙයිද
 
ආසියාවේ පිපෙන දුහුළු මලට
යුරෝපෙන් දූවිලි ගෙනෙන උදවිය හා
වාසය කරන්නට ඔබ රිසි වන්නේද
 
මට හා ඔබට පුරුදු මේ දූවිල අතරින්
අතරමං නොවූ විප්ලවකරුවෙකු වූ ඔබ
ඒ දූවිලි අතරමැ මාවත් තනිකර
ප්‍රංශයේ මල් සොයමින්
යුරෝපෙ සිරි නරඹමින්
වතිකානු රාජ  සභාවේ
පැසසුම් ගී ගයන්නට - ඔබ ඇදෙනවාද ස්වාමිනී...
 

Wednesday, June 18, 2014

අපි තවම සාගරයක් මැද නොවමුද?

By Roger Schmidt

ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි අවධානයකට අපේ රට ලක් වෙලා තියෙන මෙවන් යුගයක නැතිනම් වකවානුවක සත්‍ය ලෙසම පේ ලබා ඇති අවධානය යුක්තිගරුක සමාජ වපසරියක සිට බැලීමට හැකිද යන්න ගැන දේශපාලනිකව, ආගමිකව සහ සමාජයීය ලෙස විමසීම නුවණට හුරුය. මෙවන් කාල පරාසයක නැතිනම් අවකාශයක අපි ගැනම, අපේ ක්‍රියා පටිපාටිය ගැන විමසුම් මනසින් බලන කල නිතැතින්ම සතුටු වීමට අපිට ඉඩක් ඇත්ද? දරුණු අපරාධ වලට අදත් දේශපාලනික ලෙස ඉඩක් නිම වෙන සමාජ වාතාරවණයක ජීවත් වෙන අපි, ආගමිකව මුසා බස් දොඩමින් කිසිම කෙනෙකුට නොතේරෙන ආගමික වත් පිළිවෙත්වලට පමණක් සීමා වුණු ජීවිත ගත කරන ශ්‍රී ලාංකීය පුරවැසියන් බවට පත් වී ඇතිවා නොවේද?

කායිකව බලන කල අපි දූපතක වාසය කරන සිවිල් ජනතාවකි. අපි කර තිබෙන අනුවණකම් දෙස හා අපගේ ක්‍රියාකලාපයන් ගැන විශ්ලේෂණයක් කරන කල් වැටහෙන එකම කරුණ නම් අපි ඇස් වහගෙන, කන්වලට අගුල් දමාගෙන ජීවත් වෙන සීමාසහිත ජන කොටසක් බවයි. මේ ක්‍රමවේදය අපි ජාතික වශයෙන් පටන් ගනු ලබන්නේ 1971 සිටයි. එදා ඉතාම සුළු පිරිසකටයි වරම් ලැබුණේ පිටරටක ගොස් නිසි අධ්‍යාපනයක් ලැබීමට. බොහෝ විට පිටස්තර ලෝකෙන් වෙන් වෙලා සිටි අපි අපේම ක්‍රමයකට, මෝඩ පිළිවෙලකට ජනතාවක් ලෙස අපේ සමාජය හා දේශපාලන ක්‍රම තුළ හිර වි සීමා වුණ බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි. අද පවතින් මේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය, මුසාවාදී ආගමික පසුබිම හා අස්ථිර සමාජ වටපිටාව නිම කරන ලද්දේ පෘතුග්‍රීසීන්, ලංදේසීන් හෝ ඉංග්‍රීසීන් විසින් නොව  අප විසින් බව පිළිගත යුතු සත්‍යයකි. මේ පිළිබඳව ඉතා පුළුල් විග්‍රහයක යෙදීම අත්‍යවශ්‍ය කරුණකි.

වර්ෂ 1971 න් පසුව සිරිමාවෝ රජය තුළ අපි දකින්නේ ජනතාව තලා පෙලන සමාජ වටපිටාවකි. ජනතාවගේ ප්‍රජා අයිතිය සහමුලින්ම කප්පාදු කර දැමූ යුගයක් ආරම්භ වීමේ මූලික අඩිතාලම දැමෙන්නේ මේ යුගයේදී බව පැහැදිලි වේ. එම යුගයේ කඩයක දවස් දෙකක් බත් විකිණීමට බැරි තහංචි පැනවිණි. රෝහල්වල බෙහෙත් නැතිව, නිසි විවේචනයකට කිසිදා ඉඩක් නොදී, රැස්වීමක් පැවැත්වීමට අවකාශයක් නැතිව ජීවිත අයාලේ ගත කෙරුණු ඒ වටපිටාව නීතිය අනිසි ලෙස යොදා ගත් සමාජයකි. යම්ලෙසින් රජය විවේචනය කරනු ලැබුවහොත්අවුරුදු දහයක සිර දඬුවමක් සමඟ දේපළ රාජසන්තක කිරීමට තරම් දරුණු ප්‍රතිපත්ති දැරූ අසංවර දේශපාලනය වටිනා ජීවිත රැසක් වළපල්ලට යැවූ ඉතිහාසය කෙලෙස අමතක කළ හැකිද? නොසිතූ මොහොතවල හතරවෙනි තට්ටුවට පුද්ගලයින් කැඳවන් ගිය, බොහෝ දෙනා ජනෙල් කවුළුවෙන් එළියට ඇද දැමූ ජීවිතවලට වග කියන්නේ කවුරුන්ද? හතරවෙනි තට්ටුවේ තරප්පු පෙළ බැස ආවා නම් ඒ ඉතාම සුළු පිරිසක් විය. ඡන්දය මුවාවෙන්, දේශපාලනය මුවාවෙන් වැරදි මිනිසුන් පාර්ලිමේන්තු ගත වුණු ඒ සමාජ වපසරිය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සම්පූර්ණයෙන්ම අත්හිටවා දැමූ භීෂණකාරී පරිච්ඡේදයකි. 

මේ නොසන්සුන්කාරී තත්වයෙන් මිදීමට වෙහෙසුණු ජනතා විමුක්ති පෙරමුණ විමුක්තිය පෙරදැරි කරගෙන අවි අතට ගනු ලැබීය. සත්‍ය ලෙසම මුලින්ම අවි අතට ගත්තා නම් ඒ එල්ටීටීය නොව ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ දාර්ශනිකයින්, ජනමාධ්‍යෙව්දීන්, උගතුන්, දක්ෂ ගීත රචකයින්, සිනමාවේදීන් වැනි අහිංසක ජීවිත අමු අමුවේ ඝාතනය කරනු ලැබූ ජේවීපී ය තවත් ම්ලේච්ඡ යුගයක් ඇරඹීය. ඒ රෝහණ විජේවීර නමැති හීනමානයකින් ජීවත් වූ අනිසි නායකත්වය නිසාවෙනි. විජේවීරගේ හීනමානී ගති ලක්ෂණ පක්ෂය පුරාම ප්‍රචලිත වී, අදත් අයාලේ යන හරක් පට්ටියක් බවට පත් වී ඇත. මෙවන් අඳුරු කාලයක බලයට එන එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස හරහා තවත් භීෂණ යුග කිහිපයක් ගෙවීමට ඉඩකඩ සැකසිණි.

එල්ටීටීයට ඇඟිල්ල දිගු කර ත්‍රස්ත කණ්ඩායමක් ලෙස හංවඩු ගැසීමට මත්තෙන් විමසා බැලිය යුතු කරුණු රැසක් පවතී. සිංහල ජාතියක් ලෙස සියල්ල තුළ පෙරමුණ ගනිමින් අපිටම ඔබින අනුවණ දේශපාලන ක්‍රමවේද නිර්මාණ කළේ අපි විසින්ම නොවේද? යළිත් නගන සරල පැනය එයයි මෙවැනි අවස්ථාවක. පවුල් දේශපාලනයට අනිසි ලෙස අප විසින්ම ඉඩ දි අපේ ප්‍රජා අයිතිය අප විසින්ම කප්පාදු කරගෙන ඇති බව පැහැදිලි නොවන්නේද? අද මහින්ද චින්තනය මුවාවෙන් කරනු ලබන සියලු දේශපාලන නොහොබිනාකම් වලට ප්‍රථමයෙන් වගකිව යුත්තා කවුරුන්ද? අප සතු බුද්ධිය අනිසි ලෙසර යෙදවීමේ විපාක දැන් අපි විඳිමින් සිටින්නෙමු. උතුරු යුද්ධයෙන් අපේම සහෝදර සහෝදරියන් අවම වශයෙන් 80,000 වඩා මියැදුණු යුගය, 146,679 පමණ දෙනා අතුරුදහන් වුණු යුගය නිම කළේ කා විසින් ද? කාගේ අවශ්‍යතාවයකටද? මේ සියල්ල අපේ උවමනාවට, අපේ මෝඩ හා පටු දේශපාලන න්‍යායවල ප්‍රතිඵලයන් වේ. මීට වසර 50 කට පමණ පෙර අප අතර ගොඩ නැගී තිබුණු සහයෝගය අප විසින්ම අවසන් කළ යුතු යථාර්ථයකි. එදා උතුරු දමිල ජනයාගේ එකම ආයාචනය වුණේ වෙනල් බල ප්‍ර දේශයක් නොව, කැඩී බිඳී ගිය පාරවල් පිලිසකර කර ගන්නට යටිතල පහසුකම් ය. වගාවට අවැසි පොහොර ටිකය. තම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ය. මෙවන් අහිංසක ඉල්ලීම් අතර නිරුවත් කර ඔවුන්ව දණ ගැස්වූ, අපේ පුහු සිංහල බොදුනු හා විවිධ ආගමික මුසා ගතිගුණවලින් ආණ්ඩුමට්ටු කිරීමේ ප්‍රතිඵලය වුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදී න්‍යායවල හිර වූ පිරිස් බිහිවීමයි.

එදා සංඝයාවහන්සේලා 600 ක් වෙසක් පෝ දින හිරගෙදර බඩගින්නේ සිද්ධි අද බොදුබල සේනාවලට අමතක වුණේ කෙලෙසද යන්න විසල් පැනයකි. ධර්ම රාජ්‍යයක් ගොඩනගන මුවාවෙන් පාර්ලිමේන්තුවට ගොස් සාසනයත්, රටත් වනසන පුද්ගලික න්‍යාය පත්‍ර අතැතිව වැඩ කෙරූ සිහල උරුමය සතු කර ගත් කිසිදු උරුමයක් නැති බව දන්නෝ දනිති. බොදු බල සේනාව මේ කරන අවිනීත, අසංවරශීලී ප්‍රචණ්ඩ ක්‍රියාවලට විරුද්ධව කතා කිරීමට කිසිදු බුද්ධ පුත්‍රයෙක් ඉදිරිපත් නොවීමෙන් අපිට හැඟී යන්නේ සැබෑ බුදු දහම වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ චීවරධාරියෙක් නැතිය යන්න නොවේද? මෙය විසල් ලැජ්ජාවකට කරුණකි. 2009 දී රණවිරුවන් අතට පිරිත් නූල් බැඳ, පැන් ඉස මිනී මරන්නට සෙත් පැතූ චීවරධාරීන් සැබෑ සමාජ අරගල තුළ යුක්තිගරුකව හඬක් නොනගන්නේ මන්ද? මෙවන් අවිනිශ්චිත කාල පරාසයක සිවිල් ජනතාවක් ලෙස අපේ වගකීම තවත් කන්වලට අගුළු ලාගෙන, ඇස් වසාගෙන සිටිමුද? එදාට වඩා තාක්ෂණය දියුණු මෙරටේ අපි මේ සමාජ, ආගමික වටපිටාව වෙනස් කිරීමට යත්න දැරීම කාලයේ අවශ්‍යතාවයක් නොවේද?

අවාසනාවකට අපි පෙර ලෙසම දූපතක සිරවුනු මෝඩ ගතිවලින් මිදී නොමැති නිසා, අවට සිදු වෙන කිසිදු කරුණක් ගැන තර්කානුකූලව සිතා නොමැත. බුද්ධිමය පියවරවල් නිසි තැනදි අප ගත්තේ නම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හෝ මීට පෙර පැවති දේශපාලනමය, ආගමික අනුවණකම් මෙරට තුළ කිසිදා නොදකින්නට ඉඩ තිබිණි.

දැනට පවතින මිලිටරිකරණය මුවාවෙන් නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක නියැලෙන රජය කරල මීළඟ යුද්ධයට වගකිව යුත්තෝ කවුරුන්ද? නැවත පදිංචි කිරීම ගැන විමසුමේදී එයටම ආවේණික ඉතිහාසයක් ඇත. එනම් 1920 හා 30 ගණන්වල බ්‍රිතාන්‍ය පාලනය විසින් කළ වැඩපිළිවෙල, ජේ.ආර්. ජයවර්ධන රෙජීමය සමයේදී හා දැනට සිදුවන පශ්චාත් යුධ සමය තුළ සිදුවන නැවත පදිංචි කිරීම් ය. මේ සංකල්පය වෙස්වලා එන තවත් යුද්ධයක් බව වටහාගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? අද තරුණ පරම්පරාව අනිසි ලෙස තාක්ෂණය තුළ, ෆේස්බුක් තුළ, දූපත් ගැති වී තමන්ට ආවේණික ජීවිත ප්‍රතිපදායන් නිම කරගෙන ඇති කාලයක, යථාර්ථවාදීව මේ සිදුවන විනාශයෙන් ගැළවීමට අධිටන් කරගන්නේ කවදාද යන්න විසල් පැනයකි. බුද්ධිමත් ජනතාවක් නම් අපි විමසිය යුතු තව සුවිශේෂී කරුණක් වන්නේ එල්ටීටීඊය, නොනැවතී අහිංසක ජනතාව නිරපරාදේ සමූලඝාතනය කළ දැනට බලයේ සිටින මහින්ද ආණ්ඩුව පැවසුවේ මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් බවයි. ඔහුගේ පාර්ලිමේන්තු සනුහරය, ආරක්ෂක වළලු මැද ඉතා සැපපහසු ලෙස නගරවල සැරිසැරීමට ජනතාව ඔවුන්ගේ මෝඩ ඡන්දය භාවිතා කරමින් තවත් බලයක් අත පැවරූ සත්‍යය අමතක වී ඇත්ද? මෙවැනි මෝඩ සම්ප්‍රදායන් ජනතාව පහ කරගන්නා දිනක් ඇත්ද, එදින මීට වඩා බුද්ධිමය තීරණවලට එළඹිමට ඉඩ ප්‍රස්තාව හොඳාකාරවම ඇති බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.

කරුණු එසේ නම් අපිට සිදු වෙනවා බුද්ධිමය තීරණවලට අඩුම තරමින් මේ තියෙන අවකාශය තුළ හෝ නුවණක්කාරී තීරණවලට එළඹෙන්න. මෙරට සිටින දෙමළ, මුස්ලිම් හා හින්දු ජනතාව හා සිංහල ජනතාවට සහයෝගී ව්‍යාපාරයකට මාවත් කැපීම ඉතා සරල වූත්, අවශ්‍ය වූත් යථාර්ථයක්. ජනතාවගේ ඡන්දෙන් අනිසි ලෙස ජනතාව නොමග යවා කළ සියලු අකටයුතුකම්වලට හේතුව උගත්කමක් නැති, ජනතාවගේ අයිතීන් ගැන දැනුමක් නැති, ජනතාවට ආදරය නොකරන පටු න්‍යාය පත්‍රවල හිර වූ පිරිස් පාර්ලිමේන්තුව හරහා කළ අශෝභන ක්‍රියා නිසා බව මින් පැහැදිලි වේ. සාගරයක් මැද අපි තාමත් ජීවිතය ගත කළත් ලෝකයේ වෙනත් රටවල දියුණුව හොඳින් හඳුනන අපි, මීට වඩා මතවාදීව හා තර්කානුකූලව ඉදිරි කාලය ගැන සිතා දේශපාලනික වශයෙන්, සමාජයීය වශයෙන්, ආගමික වශයෙන් තීරණවලට එළඹිම යෝග්‍ය හා සාධාරණ බව මොනවට පැහැදිලි ද? වෙනත් රටවල දියුණුව ගැන විමසීමේදී තවමත් අපි පුහු සම්ප්‍රදායන් රකිමින් අපගේ ගෝත්‍රික ගතිගුණවල අනිසි ලෙස හිර වී සිටින නියාවක් දිස් වේ. ගෝත්‍රික ගතිගුණ ගැන කතාවේදී එහි ඇති සුබදායී දෑ තිබෙන බව පිළිගත යුත්තකි. දකුණු අප්‍රිකාවේ කළු සුදු භේදයේදී ඔවුන් අනුගමනය කළ උභන්තු ක්‍රමය ඊට කදිම නිදසුන් දෙයි.

නෙල්සන් මෙන්ඩෙලා හා ඩෙස්මඩ් ටුටු යන පෙරලිකාමි  චරිත දෙක තුළින් අපට ඉගෙන ගතහැකි පාඩම් විමසීම මෙහිදී වටීනේය.දේශපාලන නයකත්වයකින් මෙන්ඩලා පෙරටුගාමි වු කල ඩෙස්මන්ඩ් ටුටූ අධ්‍යාත්මිකව ජනතාව  ප්‍රතිපත්තිමය ගමනක මෙහෙයවු අන්දම මුලු ලොවටම වටිනා පාඩම්  රැසක් ගෙන දුනි.මෙන්ඩෙලා දේශපාලනය හරහා සිය අධිෂ්ඨාන ශක්තියෙන් ජනතාව නිදහස සඳහා සූදානම් කළ අතර ටුටූ බයිබලීය පදනම තුලින් එයට කදිම රුකුලක් දුනි.අප රටේ මෙවන් ගමනක යෙදුනු පුද්ගලයින් අප නොදුටු නිසා තවමත් සාමය හීනයක් පමණක් බවට පත්ව ඇත.වැඩි දෙනෙක් තම රට අත් හැර ගොස් ඇති අතර අපේ දේශය අපිටම එපා වී යන සලකුණු මොනවට පැහැදිලිද?.බුද්ධිමතුන් හා උගතුන් බොහො සේ සිටියමුත් පැහැදිලි දර්ශනයකින් රටේ සිදු වූ වාර්ගික හා ජාතිවාදි  අරගලවලදී නිසි මැදිහත්වීමක්, නායකත්වයක් සැපයීමට අපොහොසත් වීම දුකට මෙන්ම ලැජ්ජාවට ද කරුණකි.


පිළිගතයුතු තවත් කරුණක්නම්, අප තුළ ජනිත වී ඇති පුහු මාන්නය හා උඩඟුව, අර්ථශුන්‍ය සම්ප්‍රදායන් රකිමින් පොදු ජනයාව දැඩි පීඩාවට ලක් කරමින් අපිම කැපූ වලවල් වල අපේ ජනයාවම වැලලූ  මෝඩ ජනතාවක් ලෙස අපිව ලේබල් කරගැනීම යුතුය, සාධාරණ ය.සාගරයක් මැදට වී  අනුවණ ජනතාවක් ලෙස තවත් ක්‍රියා කල යුතුමද?මෙවනි පටු සීමා මායිම් වලින් මිදී පුළුල් දර්ශනයකින් ලොව දෙස හා අප රටේ ප්‍රශ්න දෙස බලන යුගයක අරුනලු දැකීමට දැන් කාලය එලඹ ඇත.